LTTE_GE_LNW

හුදු සිංහලයා ගොනාට ඇන්දවීම, වොෂින්ටන් ගිවිසුම සහ ව්‍යවස්‌ථා මරඋගුලේ දිග-පළල

පසුගිය ජුනි 14 වැනිදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ටී.එන්.ඒ. පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සුවිශේෂී එළිදරව්වක්‌ කළේය. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා ලබාගෙන ඔහු විසින් එම ප්‍රකාශය කරනු ලැබුවේ ”ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සහ ආගමික නිදහස සඳහා කොන්ග්‍රසය’ නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක සමුළු වාරයකදීය. එහිදී ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවේ එක`ගතාවයෙන් සම්මත වූ ඇමෙරිකානු යෝජනාව සකස්‌ කිරීමට පෙර ඊට අදාළව ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු රජය සහ ටී.එන්.ඒ පක්‍ෂය අතර තුන් පාර්ශවීය ගිවිසුමක්‌ ඇතිකරගත් බව ප්‍රථම වතාවට එළිදරව් කළේය.

ඔහුට අනුව යුද අපරාධ විමර්ශනයක්‌ සඳහා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක්‌ අවශ්‍ය වන බවට වූ ඔවුන්ගේ දැඩි ස්‌ථාවරය දේශීය සහ විදේශීය දෙමුහුන් අධිකරණයක්‌ දක්‌වා වෙනස්‌ වූයේ එම එක`ගතාව අනුවය. නමුත් එසේ තම ස්‌ථාවරය පහළට ගැනීම සඳහා ශ්‍රී ලංකාව පැත්තෙන් ලබාදීමට එක`ග වූ වරදානය කුමක්‌ද? යන්න හෝ ඊට සහභාගී වූ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් කවුද යන්න ඔහු විසින් එළිදරව් කළේ නැත. සුමන්දිරන් මහතා ඔහු සහ මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා එක්‌ව ජාතක කළ බළලා මාස 9 කට වඩා වැඩි කාලයකට පසු මල්ලෙන් එළියට දැමුවේ කුමක්‌ නිසාද? යන්න සහ එම තුන්පාර්ශ්වීය ගිවිසුමේ අඩංගු අනෙකුත් කරුණු මොනවාද යන්න දැනගැනීම රටේ ජනතාවට ඉතා වැදගත් වනු ඇත. දැන් තොරතුරු දැනගැනීමේ පනත අනුව ජාත්‍යන්තර ගිවිසුම්වල අඩංගු කරුණු එළිදරව් කිරීම නීතිය ඉදිරියේ වරදක්‌ වන බැවින් ඊට අදාළව අධිකරණයේ පිහිට පැතීමට සිදු විය හැක. එම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ අනාගත ඉරණම තීන්දු කිරීමට තරම් බරපතල විය හැකි මෙම ගිවිසුමේ අඩංගු විය හැකි කරුණු පිළිබඳ මහජන සංවාදයක්‌ ඇති කිරීම ඉතා වැදගත් වනු ඇත. බොහෝ විට මෙම ගිවිසුම නෝර්වේ මැදිහත්වීමෙන් රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රභාකරන් අතර අත්සන් කළ තුන්පාර්ශ්වීය ගිවිසුම තරම්ම භයානක විය හැක. ඇමෙරිකානු යෝජනාව තුළ යුද අපරාධ අධිකරණ ක්‍රියාවලියට අමතරව බලය බෙදීමේ ක්‍රියාවලියට අදාළව ද එක`ගතාවන් ඇතුළත් විය. ඒ අනුව බොහෝ විට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය වෙනුවට දෙමුහුන් අධිකරණයක්‌ භාර ගැනීම සඳහා කේවල් කිරීමේදී ඊට හිලව්වට බලය බෙදීමට අදාළ එක`ගතාවක්‌ ඇතිව බව ඉතා සාධාරණව උපකල්පනය කළ හැක. එසේ උපකල්පනය කිරීමට සිදු වන්නේ අදාළ තුන්පාර්ශවීය ගිවිසුමේ කරුණු එළිදරව් නොකර තිබෙන තත්ත්වයක්‌ තුළය.

විශේෂයෙන්ම එවැනි උපකල්පනයක්‌ සාධාරණ වන්නේ ආණ්‌ඩුව විසින් සහ සුමන්තිරන්ලා විසින් බලය බෙදීමේ ක්‍රියාවලියට අදාළව කළ කී දේ අනුවය. පසුගිය දිනවල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ සුමන්තිරන්ලාගේ අපේක්‌ෂා ඉටු නොකළහොත් උතුරේ නැවත ගැටුම් ඇතිවිය හැකි බවය. ඊට පෙර සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේ තම ඉල්ලීම් පවතින ආණ්‌ඩුවෙන් ඉටුකරගත හැකි බවට තමා තුළ විශ්වාසයක්‌ තිබෙන බවය. ඒ අතර ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථා සම්පාදනය සඳහා ඊට පෙර අනුගමනය කළ ක්‍රියාවලිය වන තේරීම් කාරක සභා ක්‍රියාවලිය වෙනුවට මෙවර සමස්‌ත පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ බවට පත්තිරීමේ ක්‍රමයක්‌ හඳුන්වා දීම ඉතා භයානක තත්ත්වයකි. නමුත් එම උගුලේ භයානකකම පිළිබඳව බරපතල සමාජ සංවාදයක්‌ ඇතිවූයේ නැත. විපක්‌ෂය එම උගුලට කිසිදු මානසික බාධකයකින් තොරව පය තබන්නේ එම අවාසනාවන්ත තත්ත්වය නිසාය. සමස්‌ත පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථාදායක සභාවක්‌ බවට පත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීම අවශ්‍ය වන්නේ සකස්‌ කරන ව්‍යවස්‌ථාව විප්ලවීය ව්‍යවස්‌ථාවක්‌ ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ජුව ක්‍රියාත්මක කිරීමට දේශපාලන තීන්දුවක්‌ ගෙන ඇත්නම් පමණි. ඒ සඳහා එම සභාවේ සාමාන්‍ය බහුතරයෙන් එම ව්‍යවස්‌ථා කෙටුම්පත අනුමත විය යුතුය. ඒ අනුව ආණ්‌ඩුවට අවශ්‍ය නම් එසේ සාමාන්‍ය බහුතරයෙන් අනුමත වන ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ජුව ක්‍රියාත්මක කළ හැක. එහෙත් එවැන්නක්‌ සිදු විය හැක්‌කේ විපක්‍ෂය සහ රටේ ජනතාව යළි නොනැඟිටින ලෙස හතරගාතෙන් ඇදවැටී ඇති තත්ත්වයක්‌ තුළ පමණි.

නමුත් ටී.එන්.ඒ. පක්‍ෂයේ සහ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග පත්තෙන් පත්වීම ඔවුන්ගේ බෙදුම්වාදී ඉල්ලීම් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේදී සාමාන්‍ය බහුතරයෙන් සම්මත වී එහෙත් කිසිසේත්ම ක්‍රියාත්මක නොවූවත් එය බරපතළ ජයග්‍රහණයකි. එතැන් සිට ඔවුන්ගේ සටන ව්‍යවස්‌ථානුකූලව එකඟ වූ ෆේඩරල් බලතල අත්පත් කර ගැනීමේ සාධාරණ සටනක්‌ බවට පරිවර්තනය වේ. දැනට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති මෙහෙයුම් මණ්‌ඩලයේ උපක්‍රමය අනුව යෝජිත ව්‍යවස්‌ථාවේ සමස්‌ත සංකල්පීය රාමුව පිළිබඳ පූර්ව එක`ගතාවකට පැමිණීමක්‌ සිදු වන්නේ නැත. විවිධ කමිටුවලින් සිදු වන්නේ ලබාදීමට නියමිත බෙදුම්වාදී බලතලවල භයානකකම ආවරණය කිරීම සඳහා යොදාගන්නා සැරසිලි සකස්‌ කිරීමය. එනම් ජනාධිපති බලතල අඩු කිරීම, මානව හිමිකම් තහවුරු කිරීම හෝ ඡන්ද ක්‍රමය වෙනස්‌ කිරීම වැනි සැරසිලි වලට තවදුරටත් වැඩ දැමීමය. බලය බෙදීමේ යොජනා සකස්‌ වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති කමිටුවෙනි. ඒ අනුව දැනටමත් සකස්‌ කොට අවසන් බවට සැකයක්‌ නැති ව්‍යවස්‌ථා කෙටුම්පත ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයට ඉදිරිපත් වන්නේ එසේ වෙන් වෙන්ව සාකච්ඡා කළ කොටස්‌වල එකතුවක්‌ ලෙසිනි. නමුත් ඉතා පැහැදිලිව ඊට අදාලව ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ව්‍යවස්‌ථා සභාවට කෙටුම්පත ඉදිරිපත් වූ පසුව වාද විවාද කළ නොහැකි බවට දැනටමත් විපක්‍ෂය මූලික යෝජනාව මගින්ම එක`ගවී ඇත.

එවැනි තත්ත්වයක්‌ තුළ තිරය පිටුපස සකස්‌ කළ ලේඛනය වේදිකාවට ගෙන එන විට විපක්‍ෂයට සිදු වන්නේ ගලක්‌ උඩ බහිශ්‍රාවය කළ බළලාට සිදු වූ දේ හැර අන් දෙයක්‌ නොවේ. එම අවස්‌ථාවේදී විපක්‍ෂය ව්‍යවස්‌ථා සම්පාදක සභාවේදී විරෝධය පළකොට එළියට බැස්‌සද එම සභාවේ සහ සම්මත වන ලේඛනයේ නීත්‍යනුකූල භාවයට හෝ සුජාතභාවයට හානියක්‌ සිදු වන්නේ නැත. එවිට විපක්‍ෂය ගනන් ගැනෙන්නේ අදාළ ව්‍යවස්‌ථා කෙටුම්පතට විපක්‍ෂව ඡන්දය දුන් පිරිසක්‌ ලෙසය. එවිට සමස්‌ත ව්‍යවස්‌ථා සම්පාදක සභාවේ හෝ එම ක්‍රියාවලියේ සුජාතභාවය අභියෝගයට ලක්‌වන්නේ නැත. නමුත් විපක්‍ෂයට උපදෙස්‌ දෙන විවිධ විද්වතුන් කරන්නේ ව්‍යවස්‌ථා සම්පාදක සභාව තුළ ”සටනක්‌” කොට විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කර ගතහොත් අගමැති බලය මහින්ද රාජපක්‍ෂට ලබාගත හැකි බවය. ඔවුන් තම දහවල් සිහින වලින් අවදිවූයේ නැතිනම් ඔවුන් විසින් විපක්‍ෂය මෙන්ම රටද තල්ලු කරන්නේ බරපතල අගාධයකටය.

ඒ අනුව කූට අරමුණක්‌ සහ රහසිගත එක`ගතාවකින් ඇටවූ ව්‍යවස්‌ථා සම්පාදක සභාවේ සුජාතභාවය අභියෝගයට ලක්‌කළ හැක්‌කේ අදාළ ව්‍යවස්‌ථා කෙටුම්පත සභාවට ඉදිරිපත් කිරීමට පෙර ඉන් එළියට පැනගතහොත් පමණි. පාර්ලිමේන්කු මන්ත්‍රී සුමන්තිරන් මහතා සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඇතුළු විදේශිකයන් පිරිසක්‌ ද අයත් තිරය පිටුපස හෙවත් සැබෑ ව්‍යවස්‌ථා සම්පාදක කමිටුව විසින් දැනටමත් ව්‍යවස්‌ථා කෙටුම්පත් දෙකක්‌ සකස්‌කොට ඇති බවට තොරතුරු වාර්තා වේ. පළමු කෙටුම්පත තුළ බරපතල ‘ෆේඩරල්” සහ ”කොන්ෆේඩරල්” බලතල අඩංගු විය හැකි අතර එය ජුව ක්‍රියාත්මක කරන්නේ නැතිනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සහ ජනමත විචාරණයෙන් සම්මත විය යුතුය. බොහෝ විට එවැන්නක්‌ ව්‍යවස්‌ථා සභාවට ඉදිරිපත් වන්නේ විපක්‍ෂය තවදුරටත් නිද්‍ර සහගතව සිටියහොත් පමණි.

දෙවැනි ව්‍යවස්‌ථා කෙටුම්පත ඉදිරිපත් වන්නේ මහජන විරෝධය ප්‍රබලව මතුවන සහ විපක්‍ෂය කොන්ද කෙළින් කරන තත්ත්වයක්‌ ඇති වුවහොත්ය. එහි අඩංගුව ඇත්තේ 13 වැනි සංශෝධනය ශක්‌තිමත් කෙරෙන සහ ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් සම්මත කළ හැකි මට්‌ටමේ බලතල පමණි. එනම් සමගාමී බලතල ලැයිස්‌තුව ඉවත් කිරීම, ජනාධිපතිවරයා සහ ආණ්‌ඩුකාරවරයා විසින් පළාත් සභා පාලනය කිරීම සඳහා පවතින ප්‍රතිපාදන ලිහිල් කිරීම වැනි සංශෝධන ඊට අයත් වනු ඇත. කෙසේ වෙතත් ඒකීය වගන්තිය ඉවත් නොකරනු ඇත. බොහෝ විට එය ඉවත් කෙරෙන බවට සමාජ මතයක්‌ ගොඩනඟා පසුව මහජන මතයට කන්දෙමින් එය නැවත ඇතුල් කෙරෙනු ඇත. එවිට මහජනයා එම වගන්තිවල එල්ලෙන විට අනෙක්‌ බරපතල සංශෝධන පිළිබඳ මහජන අවබෝධයද අඩු වනු ඇත.

බෙදුම්වාදී න්‍යාය පත්‍රය අනුව ඒකීය වගන්තිය හෝ බුද්ධාගමට මුල්තැන දීම වැදගත් වන්නේ නැත. එක්‌තරා ආකාරයකට එම වගන්ති ඔවුන්ට ආශිර්වාදයක්‌ වේ. එයට හේතුව බහුතර සිංහලයාගේ මනස එම වගන්ති මගින් ව්‍යාජ ආරක්‍ෂාකාරී මනසක්‌ ඇතිකළ හැකි වීමයි. බෙදුම්වාදී මාර්ග සිතියම අනුව එහි අවසාන අදියරේදී රට බෙදා වෙන් කෙරෙන්නේ ව්‍යවස්‌ථාවට අනුව නොවේ. ජාත්‍යන්තර මැදිහත් වීම මත බලහත්කාරයෙන් සහ රටේ ව්‍යවස්‌ථාවට පටහැනිව රට බෙදෙන අවස්‌ථාවේදී ව්‍යවස්‌ථාවේ පවතින ඒකීය වගන්තිය මගින් කිසිදු ආරක්‍ෂාවක්‌ ලැබෙන්නේ නැත. එම නිසා ඒකීය වගන්තිය ඉවත් කරන බවට මතයක්‌ හැදීම, ඊට එරෙහි වීම සහ නැවත එම වගන්තිය ඇතුළු කිරීම යන ජවනිකා ත්‍රිත්වය හුදු සිංහලයා ගොනාට ඇන්දවීමේ නාට්‍යයේම එක්‌ ජවනිකා පෙළක්‌ පමණි.

ඉහත සඳහන් කළ පළමු කෙටුම්පත හෙවත් ලේබලය සහිත ”කොන්ෆේඩරල්” ව්‍යවස්‌ථාව බහුතර සිංහල ජනතාවගේ දායකත්වයෙන් සම්මත කොට බන්දේසියක තබා බෙදුම්වාදීන්ට පුද කළහොත් ඔවුන් එය සතුටින් භාරගනු ඇත. එහෙත් දෙවැනි කෙටුම්පත හෙවත් ලේබලය නැති ෆේඩරල් ව්‍යවස්‌ථාව ලැබුණහොත් ගැටලුවකින් තොරව බෙදුම්වාදී මාර්ග සිතියම දිග හැරෙනු ඇත. ඒ දෙකම නොලැබී වර්තමාන ව්‍යවස්‌ථාවේ සැඟවුණු ෆේඩරල් බලතල වන පොලිස්‌, ඉඩම් සහ මහ ඇමැති බලතල පමණක්‌ ලැබුණද ඔවුන්ට ඉතිරි දුර ඉදිරියට යැමේ බාධාවක්‌ නැත. එවිට සිදුවන්නේ බෙදුම්වාදී මාර්ග සිතියමේ නීත්‍යනුකූලව යා හැකි දුර අඩුවී නීත්‍යනුකූල නොවන ලෙස යායුතු වන දුර මඳක්‌ වැඩි වීම පමණි.

මහා ව්‍යවස්‌ථා සංශෝධන ඝෝෂාවක්‌ ඇති කිරීමෙන් පසුව එය මහජන විරෝධය අකුලා ගැනීමට සිදු වුවද බෙදුම්වාදීන්ගේ න්‍යායපත්‍රයට බරපතල හානියක්‌ සිදුවන්නේ නැත. ඒ මගින් 13 වැනි සංශෝධනයේ පොලිස්‌, ඉඩම්, සහ මහ ඇමැති අරමුදල් බලයවත් ලබාදිය යුතු නොවේද යන මතය සාධාරණීකරණය වනු ඇත. ඒ නිසා ආරම්භ වී ඇති ක්‍රියාවලිය බෙදුම්වාදීන්ට වාසි සහගත ලෙස අවසන් වීමේ වැඩි ඉඩක්‌ පවතී. ඊට හේතුව එය පරාජය කිරීමට නම් වර්තමානයේ විපක්‍ෂය හැසිරෙන ආකාරයේ බරපතල වෙනසක්‌ අවශ්‍ය වීමය.

කෙසේ වෙතත් මෙවර මානව හිමිකම් කොමසාරිස්‌වරයාගේ ප්‍රකාශය තුළ අප රටේ ව්‍යවස්‌ථා සම්පාදක ක්‍රියාවලියේ මාර්ග සිතියම අඩංගු වීම තුළින් පැහැදිලි වන්නේ දැනටමත් එම ක්‍රියාවලියට අදාළ එක`ගතාවන්ට ආණ්‌ඩුව පැමිණ ඇති බව නොවේද? ඒ අනුව සුමන්තිරන් මන්ත්‍රීවරයා කියන ආකාරයට දැන් ඇමෙරිකා – ශ්‍රී ලංකා – ටී.එන්.ඒ. තුන් පාර්ශ්වීය ගිවිසුමට අනුව බෙදුම්වාදී මාර්ග සිතියම දිගහැරෙමින් තිබේ. එහෙත් විපක්‍ෂය තවමත් නිවීසැනසිල්ලේ 2020 දී බලය ආපසු ලබාගැනීමේ සිහිනයක ගිලී සිටියි. ඒ සිහිනය සැබෑවීමට පෙර රට අනතුරේ වැටෙන බවට නම් කිසිදු සැකයක්‌ නැත. රට මුහුණදෙමින් සිටින බරපතල අනතුරුදායක තත්ත්වය හමුවේ ඒකාබද්ධ විපක්‍ෂය ඉතා දුර්වල මට්‌ටමින් හෝ යම් පියවර ප්‍රමාණයක්‌ ගනිමින් සිටියද ජනතා විමුක්‌ති පෙරමුණ ර`ගපාමින් සිටින්නේ නරියාගේ භූමිකාව වුව පැහැදිලිව පෙනේ. ඔවුන් සිහින දකිමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ පාලනය විසින් රට අනතුරේ දැමූ පසුව ඒ සුන්බුන් අතුරින් ගැලවුම්කරුවකු සේ මතුවී බලය ලබාගැනීමටය. නමුත් ඒ විනාශයෙන් පසුව ජනතාවගෙන් ඔවුන්ට කිසිදු සමාවක්‌ ලැබෙන්නේ නැත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර

දෙස් විදෙස් දේශහිතෛශී ශ්‍රී ලාංකිකයනි අපමණ බාධක මැද පවතවාගෙන යන www.lankanewsweb.today වෙබ් අඩවියට ඔබගේ සහයෝගය අවැසිම මොහොතයි මේ.